Tuesday, March 2, 2021

දැනුම කේන්ද්‍රගත සමාජයක පුස්තකාලයේ භූමිකාව...........

මානව සමාජයේ වර්තමාන දියුණු තත්ත්වයට හේතු වී ඇත්තේ මිනිසාගේ බුද්ධිමය ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස බිහිවන තොරතුරු එසේ නැතහොත් දැනුම පසු කාලීන පරපුරට භාවිතා කල හැකි අයුරින් වාර්තා ගත කිරීමට ඇති හැකියාවයි. මෙසේ වාර්තා ගත වන තොරතුරු සෙසු අයගේ දැනුම වැඩිකිරීමට ප්‍රයෝජනයට ගත හැකි පරිදි ලබා ගැනීම , සැකසුම, ගබඩා කිරීම, සමුද්ධරණය හා සන්නිවේදනය පිණිස ඇති ප්‍රධාන විඥාපන ඒකකයක් වනුයේ පුස්තකාලයයි. අධ්‍යාපනය, පර්යේෂණය, ආර්ථික කටයුතු, දේශපාලන කටයුතු, සංස්කෘතික කටයුතු ආදී විවධ කාර්යයන් නිසා මානව දැනුමට එකතුවන තොරතුරු මහා ප්‍රවාහයක් බවට පත්ව තිබේ. භූගෝලීය, දේශපාලනික, සමාඡීය හා සංස්කෘතිකමය කඩඉම් හරහා ගලන තොරතුරු ප්‍රවාහය මෙහෙවීම හා ප්‍රයෝජනයට ගැනීමට සැලැස්වීම ද සඳහා  ඇති විඥාපන ආයතන අතර පුස්තකාලයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මානව සමාජයේ තොරතුරු හරහා එන දැනුම වැදගත් ලෙස නොසැලකෙන කිසිම ක්ෂේත්‍රයක් සෙවිය නොහැක. පර්යේෂණ හා ප්‍රවර්ධන කටයුතු, කර්මාන්ත, ව්‍යාපාර, රාජ්‍ය තාන්ත්‍රීය, අධ්‍යාපන හා පුහුණු කිරීම් ආදී මේ කිනම් ක්ෂේත්‍රයකදී හෝ තොරතුරු ලබා ගැනීම, සැකසීම, ගබඩා කිරීම, සමුද්ධරණය හා සන්නිවේදනය යන කාර්යයන් කිරීමට සිදුවේ.

ඕනෑම රටක ආර්ථික හා සමාජයීය ප්‍රවර්ධනය සඳහා මූලික අවශ්‍යතාවයක් වන්නේ විද්‍යාත්මක, තාක්ෂණික, ආර්ථික හා දේශපාලන තොරතුරු නිදහසේ හුවමාරු වීමත් ගලා යෑමටත් අවශ්‍ය යටිතල පහසුකම් පැවතීමයි. මේ තත්ත්වය වඩාත් දැඩිව අවශ්‍ය වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහාය. එම රටවල පවතින දුගීකම, අසාක්ෂරතාව, රෝග ආදී සමාජ ප්‍රශ්න පිටු දැකීම සඳහා ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති හා වැඩසටහන්වල සාර්ථකත්වය උදෙසා ක්‍රමවේදය, තාක්ෂණික ශිල්පීය ක්‍රම, ආර්ථිකමය හා පරිසරාත්මක සාධක හා දත්ත ආදී තොරතුරු විධිමත්ව අවශ්‍ය පුද්ගලයන්ට හා ආයතනවලට ලබාදීම පිණිස මනාව සංවිධානය කරන ලද යටිතල පහසුකම් පද්ධතියක් තිබිය යුතුය. සංවර්ධිත රටවල ශීඝ්‍ර දියුණුවට මූලික හේතුවක් වී ඇත්තේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා දක්වන විශේෂ සැලකිල්ලයි. මේ සඳහා අත්‍යවශ්‍ය මූලික අංගයක් වී ඇත්තේ තොරතුරු හරහා එන දැනුමයි. මේ නිසා කලක් භාණ්ඩ මූලිකව පැවති සමාඡය දැන් ඥාන මූලික සමාඡයක් බවට පත්ව ඇත. භාණ්ඩයක් ලෙස “තොරතුරු ගතහොත් එහි අගය ක්ෂය වීමක් හෝ වටිනාකම අඩු වීමක් සිදු නොවේ. තොරතුරු නැතහොත් දැනුම උත්පාදනය කරන මූලාශ්‍ර හා ඒවාට ප්‍රවේශය ලබා ගත හැකි ස්ථාන පිළිබඳ වඩාත් පුළුල් අවබෝධයක් ඇත්තේ පුස්තකාලයාධිපතීන්ටය. තොතුරු අවශ්‍යතාවෙන් යුත් තැනැත්තෙකුට ඒ අවබෝධය නොමැති නම් ඔහු විසින් වඩාත් වෙහෙසකර හෝ වියදම් සහිත ක්‍රම භාවිතයට ඉඩ තිබේ. මෙවැනි අවස්ථාවලදී පුස්තකාලයාධිපති විසින් නිවැරදි අන්දමට මඟ පෙන්වනු ලබන්නේ නම් එවිට පාඨකයාට සැලසෙන සේවාව අතිශයින් වැදගත් වේ. දැනුම කේන්ද්‍රගත සමාජයක අවශ්‍ය වේලාවට නිවැරදි තොරතුරු සැපයීමේ සමත්කම ඕනෑම පුස්තකාලයක් සතුවිය යුතුය. 

 

 නූතන දැනුම කේන්ද්‍රගත සමාජයේ සම්ප්‍රදායික පොතපත, සඟරා, පුවත්පත් හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යවලින් දුන් තොරතුරු ප්‍රවාහය අභිභවමින් ඉලෙක්ට්‍රොනික හා පරිගණක ගත මාර්ගස්ථ මාධ්‍ය ඔස්සේ තොරතුරු උත්පාදනය වෙමින් ශීඝ්‍රයෙන් දසත ප්‍රචාරය වෙමින් පවත්නා බව දැකගත හැකිය. ලොව දසත රටවල්, මහද්වීප, ගම් නියම් ගම් වෙන් කෙරුණු කඩයිම්, දේශසීමා අතුරුදහන් වෙමින් එකම ලෝක ග්‍රාමයක්, විශ්ව ගම්මානයක් බවට පත්ව තිබෙනු පෙනේ. පරිගණකයත්, විද්‍යුත් සන්නිවේදන ක්‍රමත්, චන්ද්‍රිකා තාක්ෂණයත් හා එකට අත්වැල් බැඳගනිමින් තොරතුරු තාක්ෂණය අප වසන නූතන දැනුම කේන්ද්‍රගත සමාජය වෙලා ගනිමින් පවතී. නූතන තොරතුරු සමාඡයේ අළුත්ම නැමියාව දැනුම කලමනාකරණය  (Knowledge Management)  පිළිබඳ සංකල්පය ක්‍රියාවට නැංවීමයි. දැනුම නිපදවීම, එක්රැස් කිරීම හා ගබඩා කිරීම මෙම ක්‍රියාදාමයේ ප්‍රධාන තැනක් ගනී.මෙය ඉතා ඈත අතීතයේ සිටම මානව ශිෂ්ටාචාරය හා බැඳී ඇත. මුද්‍රිත ප්‍රකාශන හා ලිඛිත ප්‍රකාශන විවිධ නිමාවන්ගෙන් එක්රැස් කිරීම නිසා සම්ප්‍රදායික පුස්තකාල ගොඩ නැංවිණි. පැපිරස් හා වෙලම්වල ලියැවුණු ග්‍රන්ථ එක්රැස් කර පවත්වාගෙන ගිය ඇලෙක්සැන්ඩ්‍රියානු පුස්තකාලය, පන්සල් පොත්ගුල් යනාදිය “බිත්ති හතරකින් කොටු වූ පුස්තකාලවල පූර්වාරම්භය ලෙස සැලකිය හැකිය. පොත සාම්ප්‍රදායික පුස්තකාලයේ දැනුම තැනුම් ඒකකය බවට පත් වූයේ එසේය. තාක්ෂණයේ මහිමය නිසා පසුව ශ්‍රව්‍ය/දෘශ්‍ය, සූක්ෂම රූපී  හා ඉලෙක්ට්‍රොනික මාධ්‍යගත ප්‍රකාශන සාම්ප්‍රදායික පුස්තකාලය තුළ ගබඩා විය. ආචාර්ය රංගනාදන්ගේ පුස්තකාලය පිළිබද පංච නීතිය එළි දැකීමත් එයිනිදු “සෑම පාඨකයෙකුටම පොතක් “සෑම පොතකටම පාඨකයෙක් ” යන්න නිෂ්පන්න වීමට පොතම මුල් වී ඇත. “පොත් ඇති ගෘහය” යන අරුතින් පුස්තකාලය යන වදන බිහි වීමද මෙහිලා කැපී පෙනේ.

පුස්තකාලය කුමක් සඳහාද ? එහි අරමුණ කවරක්ද යන්න නිරන්තරයෙන් අසනු ලබන ගැටළු වේ. මෙම ගැටළු වලට එක එල්ලේ පැහැදිලි පිළිතුරක් සැපයීම මදක් දුෂ්කර වුවද තොරතුරු සැපයීමේ ව්‍යාපාරයෙහි නිරන්තරයෙන් යෙදෙන බැවින් පුස්තකාලය හා දත්ත, තොරතුරු, දැනුම, පුද්ගලයා යන  සිව් පද අතර  ඉතා සමීප සම්බන්ධතාවයක් ඇති බැව් පැහැදිලි වේ. දත්ත තොරතුරු බවටත් තොරතුරු දැනුම බවටත් දැනුම තොරතුරු බවටත් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විපරිණාම වෙයි.  එහි මහාර්ඝ ඵල ලබන්නා පාඨකයා නැතහොත් සෙවුම්කරුවාය. සම්ප්‍රදායික දැනුම ලැබීමේ ක්‍රම නූතන තාක්ෂණික දියුණුවත් සමඟ “යාවජීව ඉගෙනුම  බවට පත්ව ඇත. මෙම යාව ජීව ඉගෙනුමෙහි නියුතු වන්නා බිත්ති හතරකට, පන්ති කාමරයකට, බිත්ති වලින් වටවූ පුස්තකාලයකට තවදුරටත් කොටු නොවෙයි. පාඨකයාට අවශ්‍ය වන්නේ බිත්තිවලින් තොර කඩඉම් නොමැති පුස්තකාලයකි.  මුළු ලොවම විශ්ව ගම්මානයක් වූවා සේම මෙම කාර්යය සපුරාලන්නට පුස්තකාලය සදා විවෘත වූ විස්මිත පුස්තකාලයක් විය යුතුය. දැනුම කේන්ද්‍රගත  සමාජයක දැනුම කළමනාකරණය දැන් ප්‍රාදේශීය මායිම් ඉක්මවා ගෝලීයකරණයට බඳුන් වී ගෝලීය දැනුම කළමනාකරණය පිළිබඳ සංකල්ප බිහිව ඇත. එහිදී  ජීවිත කාලීන අධ්‍යාපනය, සාම්ප්‍රදායික අධ්‍යාපනය අතික්‍රමණය කර තිබේ. එම කර්තව්‍යයේදී සාම්ප්‍රදායික තොරතුරු ප්‍රභව වෙනුවට අන්තර්ජාලය, ලෝක ව්‍යාප්ත ජාල හා වෙබ් අඩවි ගත තොරතුරු ප්‍රභව, දත්ත පදනම් හා ග්‍රන්ථ සුචි මෙන්ම ඉලෙක්ට්‍රොනික ලිපි ලේඛන, සඟරා ලිපි හා ඉලෙක්ට්‍රොනික ග්‍රන්ථ ආදිය පරිශීලනය කිරීමට පාඨකයාට සිදුවෙයි. මෙහිදී ඉලෙක්ට්‍රොනික හා ඩිජිටල් පුස්තකාල ඉතා විශාල කාර්ය භාරයක් ඉටුකරයි.

 

ඉතිහාසය පුරාම පුස්තකාලයේ සංවිධාන ව්‍යුහය, සංකල්ප හා කාර්යයන් නොකඩවා වෙනස් වෙමින් පවතී.  දැනුම කේන්ද්‍රගත සමාජයේ අවශ්‍යතා වලට ගැලපෙන පරිදි ඇතැම් කාර්යයන් ඉවතලන ලද අතර නව කාර්යයන් හදුන්වා දී ඇත. වෙනත් ඕනෑම ගතික සංවිධානයක් මෙන්ම පුස්තකාලයද සමාඡයේ පවත්නා වෙනස්කම් අනුව එහි සේවාවන් හා නිෂ්පාදනය වෙනස් කරනු ලැබෙන අතර පුස්තකාලය පුද්ගලයන්ගේ හෝ සංවිධානවල තොරතුරු අවශ්‍යතා සපුරාලිමට බැඳී සිටී. සත්‍ය වශයෙන්ම පුස්තකාලයේ හැඩය, ප්‍රතිරූපය හා සංකල්පය සමාජය විසින් එහි අවශ්‍යතා වලට ගැලපෙන ලෙස විග්‍රහ කරනු ලබයි. සමාජය එහි තොතුරු අවශ්‍යතාවන් වෙනස් කරන විට පුස්තකාලයේ තොරතුරු භාවිතා කිරීමේ ක්‍රම, තොරතුරු ඇගයීමේ උපායමාර්ග හා පුස්තකාලයේ භූමිකාව වෙනස් වේ. කෙසේ වෙතත් සමාජයට අදාල දැනුම බෙදාහැරීම යන පුස්තකාලයේ මූලික පරමාර්ථය වෙනස් නොවී පවතී. පුස්තකාලය යනු මූලික වශයෙන් තොරතුරු ද්‍රව්‍ය සංවිධානාත්මකව එකතු කර එහි අන්තර්ගතය උපරිම ලෙස භාවිතා කිරීමට පහසුකම් සලසන ආයතනයකි. නූතන යුගයේ විද්‍යුත් ජන සන්නිවේදනය මඟින් ලබා ඇති දියුණුවත්, පොත්පත් ප්‍රකාශනය සම්බන්ධයෙන් ලබා ඇති දියුණුවත් , ප්‍රවාහන සේවා අතින් ලබා ඇති දියුණුවත් නිසා විශ්ව දැනුම් සම්භාරය එක් රටකට හෝ එක් ජාතියකට සීමා නොවී සමස්ත මානව වර්ගයාටම අයත් විශ්ව දැනුම් ජාලයක් බවට පත්වී තිබේ.  මානව වර්ගයා සතු දැනුම් සම්භාරය රැස් කිරීම ඉතා වැදගත් මෙන්ම භාරදූර කාර්යයක් වන නිසා ලොකයේ සෑම රටකම පුස්තකාල එකම කාර්යයෙහි  නියැලී සිටී. දැනුම කේන්ද්‍රගත සමාජයක තොරතුරු අවශ්‍යතාවය ඇති අයගේ එකී අවශ්‍යතාවන් නිවැරදිව හා කාර්යක්ෂමශීලීව සපුරාදීම නූතන පුස්තකාලවල ප්‍රධාන පරමාර්ථය වේ.  මෙවන් පරිසරයක නිෂ්පාදනය වන අති දැවැන්ත දැනුම් සම්භාරය අනාගත ප්‍රයෝජනය සඳහා ගබඩා කර තැබීම වර්තමාන පුස්තකාලය හා තොරතුරු සේවා මධ්‍යස්ථාන මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයයි. එසේම ඡාල පද්ධතිගත අප්‍රමාණ වූ තොරතුරු අතුරින් අවශ්‍යදෑ සොයා ගැනීමද මෙහිදී ඉස්මතු වන්නා වූ ප්‍රධාන ගැටළුවකි. මේ සඳහා දැනට පුස්තකාලයන්හි භාවිතා වන සම්ප්‍රදායික ශිල්ප ක්‍රම ප්‍රමාණවත් නොවන බැවින් නව යාන්ත්‍රික ගවේෂණ ශිල්ප ක්‍රම සම්පාදනය කිරීම පිළිබඳ දැනටමත් බොහෝ පුස්තකාල හා තොරතුරු සේවා මධ්‍යස්ථාන අවධානය යොමු කර තිබේ. අතථ්‍ය පුස්තකාල  නැමැති සංකල්පය පැමිණ තිබෙන්නේ මේ සියල්ල හරහාය. දැනුම කේන්ද්‍රගත සමාඡයක මානව සංහතියේ අභිවර්ධනයට අතිශයින්ම ඉවහල් වූ තාක්ෂණයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කැපී පෙනේ. එබැවින් නූතනයේ පුස්තකාලය හා තොරතුරු සේවා මධ්‍යස්ථානද මේ හා අත්වැල් බැඳගෙන තිබේ.

වර්තමාන පුස්තකාල හා තොරතුරු සේවා මධ්‍යස්ථාන සම්ප්‍රදායික සේවාවන්ගෙන් ඔබ්බට ගොස් පාඨකයින්ගේ දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා නවීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය උපයෝගී කරගනී.  මෙහිදී ඉතා වැදගත් තරුණ වනුයේ නියම පුද්ගලයාට නියම වේලාවට නියම තොරතුර (Right information at right time to right person) ලබා දීමයි. මෙහිදී පුස්තකාල කාර්ය මණ්ඩලයට තොරතුරු ගවේෂණය පිළිබඳ මනා නිපුණතාවයක් තිබිය යුතුය. අන්තර් ඡාලය හරහා තොරතුරු ගවේෂණය කිරීමේදී  තොරතුරු සෙවුම් මෙවලම් (Searching Tools) භාවිතය පිළිබඳ නිපුණතාවයක් තීබීම අතිශයින් වැදගත් කරුණකි. ලොව විවිධාකාර බොහෝ තොරතුරු වෙබ් අඩවි තුළ ඇතුලත් කොට ඇත. දැනුම කේන්ද්‍රගත සමාජයක පාඨකයාට අවශ්‍ය නව තොරතුරු සැනින් ලබාදීම උදෙසා පුස්තකාල කාර්ය මණ්ඩලයට මෙකී වෙබ් අඩවි වලින් ලබා ගත හැකි පිටුවහල අතිමහත්ය. උදාහරණයක් ලෙස www.wikipedia.org වෙබ් අඩවිය ගෙන ලබමු. යම් දෙයක් ගැන හැම දෙයක්ම දැන ගැනීමට විශ්ව කෝෂයක් හෙවත් එන්සයික්ලොපීඩියාවක් කියවිය යුතුය.  ලෝ ප්‍රකට බ්‍රිටැනිකා විශ්ව කෝෂය, එන්කාටා විශ්ව කෝෂය යනාදිය එවැනි මුද්‍රිත පොත්ය. එහෙත් විසි එක්වැනි සියවසේ ලොව ප්‍රකටම විශ්ව කෝෂය මේ කිසිවක් නොව අන්තර්ජාලය හරහා පිවිසිය හැකි විකිපීඩියා විශ්ව කෝෂයයි. එපමණක් නොව එය අද ලොව තිබෙන විශාලතම දැනුම් සම්භාරයි. එසේ දැනට අන්තර්ඡාලයේ තිබෙන මුළු වෙබ් අඩවි ගණන වන තිස් හතරකෝටි හැටලක්ෂයක් අතරින් හයවැනි තැනට ඡනප්‍රිය වෙබ් අඩවිය මෙයයි. විවිධ මාතෘකා ඔස්සේ ලියූ ලිපි දෙකෝටියක් විකිපීඩියාවේ තිබේ. ඒ භාෂා 283කින් ලියූ ඒවාය. එම ලිපි කියවීමට සෑම මසකම විකිපීඩියාවට එක්රොක් වන සෙවුම්කරුවන් කෝටි 270කි. ලෝකයේ දැනට ඇති හැම දැනුමක්ම හැම භාෂාවකින්ම සටහන් කොට තිබීම විකිපීඩියාව ආරම්භ කිරීමේ අරමුණ විය. සෙසු වෙබ් අඩවි වලට වඩා අගනාකමින් වැඩි මෙවන් වූ වෙබ් අඩවි වලින් තොරතුරු ලබා ගැනීම පිළිබඳ නූතන පුස්තකාල මනා පරිචයක් ලබා ගැනීම මෙහිලා වැදගත්ය. කිසියම් සාර්ථක තොරතුරු සෙවුමකදී ප්‍රතිඵල ලද පසු එම වෙබ් අඩවි ලිපිනයන් අදාල පරිගණකය තුළ අනාගත පිරික්සුම් සඳහා සලකුණු(Book Mark) කොට තැබීම ඕනෑම පුස්තකාලයකට ප්‍රයෝජනවත් වේ.

“දැනුම ආලෝකයක් බඳුය. එය සැහැල්ලුය. ස්පර්ශ කල නොහැකිය. ලොව පුරා සැරිසරමින් එහි වෙසෙන සෑම මිනිසෙකුගේම ඡීවිත දීප්තිමත් කරවීමේ ප්‍රබල ශක්තියක් එය සතු වේ.”   

මෙම අපුර්වතම නිර්මාණය වූ දැනුම බෙදා හැරීමේ ප්‍රධාන නියමුවා පුස්තකාලයයි. ලොව පුරා විහිදී තිබෙන දැනුම ඒකරාශී කොට බෙදාහරිමින් මුළු මහත් සමාජයේ දැනුම් නිම් වළලු පුළුල් කර ගැනීමට උරදෙන්නේද  පුස්තකාලයයි.

¬¬¬¬¬¬¬¬

 

එම්.කේ. ගිවෝන් යානිකා නන්දසේන

පුස්තකාලයාධිපතිනී

ජාතික විගණන කාර්යාලය

 

No comments:

Post a Comment

Free Sinhala E-books

  Sinhala E-books